මා සිතු වදන් ඇරඹුම....

මා සිතු වදන්....


මගේ පලවෙනි බ්ලොග් එක, ලියන්නේ කොහොමද, කියන්නේ මොනවද කියලයි කල්පනාව තවම. මාතෘකාවත් බ්ලොග් නමින්ම පටන් ගන්න හිතුවේ මගේ පරමාර්ථයම එතන ගැබ්වෙලා තියෙන නිසා. ටිකක් වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නකොට හිතට නොදැනීම සිතුවිල්ලකට නිමිති එකිනෙක පහලවෙන්න ගත්තා. ඉස්කෝලේ කාලේ මොන කාඩ වැඩ කලත් රචනා වලට උඩින්ම හිටිය මට මේක බැරි වෙන්න බැරි බව මගේ හිත කිව්වේ ටිකක් ආඩම්බරෙන්. ඒත් ඒ හපන්කම් පෙන්නල දැන් කාලයක් ගිහින්. පරණ ගැරේජ් එකක ටියුබ් ලයිට් එකක් අවුරුදු ගානකට පස්සේ දැම්මම මකුලුදැල් මැද්දෙන් චිරි චිරි ගාල පන ගහල පත්තු වෙන්න හදනවා වගේ මගේ යටගිය වචන ජෙනිය බැරි බැරියාවෙන් දුක කිව්වා. ඒත් දවස් කීපයක්ම ලියන්නම අතගහලා ආපහු අතෑරලා දැම්ම නිසා මම හිතට නියෝගයක් දැම්මා අද නම් මොන වැඩ තිබුනත් අකුරු කිරිල්ලක් කරනවා ම තමයි කියලා.

මේසේ උඩ සින්දු කියන මගේ දුරකතනය එවෙලේ කිය කිය හිටියේ එක්පෙති මලක් ගැන. දොරෙන් එලිය බැලුවම මම දැක්කා මගේ අතිජාත මිත්‍රයා, කියන තැනක, කියන වෙලාවක නෑ බෑ නොකියා මාත් එක්ක යන සහෘදයා නිසොල්මනේ ඉස්තෝප්පුවට වෙලා වත්ත දිහා බලන් ඉන්නවා. එයත් එක්ක මම ගිය ගමන් නිමක් නැතුව ඇති. ගෙදර ගමන් බිමන් වලට, යාලුවොත් එක්ක රෝන්දෙ යන්න, හැම මගුලෙම ගිහින් අන්තිමට මගේ සදාදර අක්කණ්ඩි ගේ ඇත්තම මගුලටත් ලස්සනට සැරසිලා පාර දිගේ උජාරුවෙන් ගිය දවස මට අද වගේ මතකයි. එදා මමත් රථාචාරියා වුනේ මාර හැඟීමකින්.


නමුත් අද මට මේ එක් පෙති මල සින්දුවයි මගේ මිත්‍රයයි එක්ක මතක් වුනේ වෙන දෙයක්. වෙන කෙනෙක්. ජීවිතේ කාලයක් ලොකුම කොටසක් වෙල ඉඳපු, දැන් ඈත දුර මතකයක් විතරක් වුන ඡායාවක් ගැන. මම ඈ ව නංවාගෙන මගේ මිත්‍රයා එක්ක ගියේ ඉතා විශේෂ ගමන් විතරයි. ඒකට හේතු වුනේ ඒ දවස් වල ඇත්තටම මගේ මිත්‍රයාව අයිති වෙලා තිබුනේ මගේ අප්පච්චිට වීම. ඒත් මම හොරෙන් ගමන් ගියේ නෑ. ගිය ගමනකට ඈවත් එකතු කරගත්තා. එහෙම හිතලා මම දෙසිතම සනසවාගන්නවා. ඉතින් ඈත් එක්ක ගිය ගමන්, ඒ සිතුම්, සිදුවීම් මම කොච්චර අමතක කරන්න හැදුවත් ඉඳලා හිටලා හරි මතක් වෙනවා. යනකම් එනකම් අතකින් මගේ අත අල්ලාගෙන හිටපු හැටි, ටිකක් වේගේ වැඩි කරද්දි අත තද කරපු හැටි වගේම කොහේ හරි නිස්කලංක ගස් හෙවනක් යට තුරුල් වෙලා කතා නොකර හිනා නොවී කාලය අමතක කර හිටිය වෙලාවල් නිකම් ඉඳිකටු ඔලුවක තරමේ මතක පුංඡ හැටියට මතකේ දුර ඈතක හැංගිලා තියෙනවා. ඒවා තවදුරටත් මගේ හිත පුච්චන්නේ නෑ, සූරන්නේ නෑ, ඉස්සර බලපු නයිට් රයිඩර් නාට්‍යයේ රසබර මතක වගේ නිකම් මතක විතරයි.

'සැපේදීත් දුකේදීත් නොවෙනස්ව' කියන නියම යහලුවෙකුගේ ගතිය මගේ මිත්‍ර යකඩ ගොඩට මනුස්සයෙකුට වඩා තියෙනවා කියලා මට හිතෙනවා. එයාගෙන් මම මහලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ, මං කියන තැනකට මාත් එක්ක ගිහිල්ල මම හිත හදාගන්නකම් නිසොල්මනේ මාව අල්ලගෙන ඉන්න විතරයි ඕනේ. හිතක් පපුවක් ඇති මනුස්සයෙකුටත් බොහෝවෙලාවට ඕක හරි‍යට කරන්න බෑ. මම ඈ එක්ක ගිය සතුටු ගමන්, අන්තිම දවසේ ඇගෙන් වෙන් වෙලා පසුකණ්නාඩි නොබලා ඇස් තදකරගෙන ආපු ගමන වගේම පස්සේ ඈ විවාපත් වෙලා කියලා දැනගත්තම හිත ඇතුලේ එකිනෙකට වෙනස් සිතුවිලි බ්ලෙන්ඩරේ දාලා කෙටුවා වගේ වෙලා ගිය දවසේත් මාත් එක්ක සද්ද නැතුව හිත හදාගන්නකම් ඉන්න මම ඉඩ දුන්නේ මගේ හිත හොඳ යාලුවන්ට නෙවෙයි. හිතක් නැති, ඒත් ඒ නිසාම හිතවත් මගේ සහෘදයාටයි.

දුක විතරක් නෙවෙයි, සතුට බෙදාගන්න, පොඩි ජොලියක් ගියාම ඒකට එකතු වෙන්න වුනත් එක පයින් නෑ බෑ නොකියා එන්නේ. අනන්තවත් මම පාරේ යන ගමන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ රේඩියෝ එකේ සින්දුවක් දාගෙන කෑගහල මගේ ගායන හැකියාව එලිදක්වලා ඇති. කලාතුරකින් වුනත් මළ පැනපු වෙලාවලට ලෑල්ලට පාගලා යන්න ඇති. ඒ වෙලාවට වුනත් 'යමන් බණ්ඩො පාරෙ මැරෙන්න' කියලා මාත් එක්ක ඇවිල්ලා ඇති. ඒවා සුලු සිදුවීම්. ඒත් ඒ හැඟීම එකයි.

ඒ ඔක්කොම අතරින් මට අද ඈව මතක් වුනේ අර සින්දුව නිසා. තනි ජීවිතේ සැපයි කියලා ඉන්න මගේ හිත ඉඳල හිටලා පොඩ්ඩක් හෙලවෙන්නේ නෑ කිව්වොත් බොරුවක්. ඒත් මගේ සහෘදයා දිහා බැලුවම මට හිතෙන්නේ "එහෙනම් අපි ඒකෙනුත් ගොඩ ආවා" වගේ හැඟීමක්. අර කව්ද කිව්වා වගේ 'එයත් එසේමැයි'.

මම කතාවක් ගොනු කරලා නෑ, නිකම්ම මගේ සිතුවිලි දිගඇරියා විතරයි. ඒත් මට අවසානයේ ගොනු වුන චිත්‍රයක් වගේ දෙයක් තියෙනවා.


ඉස්සර මගේ සශ්‍රීක රාජධානිය මැදින් මම මගේ කුමාරිව මගේ අශ්වයා පිටින් නොයෙක් තැන් වල එක්කගෙන ගියා. ඒත් ඈ ඇගේ සුන්දර ආදරයෙන්ම මාව කෙමෙන් කෙමෙන් මරණය කරා ගෙනයන බව තේරුණු මම හිත ඉරලා බැමි ලෙහුවා. අපේ වෙන්වයාමෙන් මගේ රාජධානියේ ජීවය ගිලිහී ගරාවැටුන අඟුරු ගොඩක් වුනා. ඒත් මම ජීවත් වුනා. මාත් එක්ක සැපේදී ජීවිතය සැපවත් කරපු කන්ථකයා දුකේදීත් මාත් එක්කම නොවෙනස්ව හිටියා. අඟුරු ගොඩ පස් වෙලා අලුත් ලෝකයකට පොලව සාර වෙන අතරේ තවමත් ඒ හිතවත් අශ්වයා මාත් එක්ක ඉන්නවා.

මේ බැඳීම නිසයි මම තවමත් ඉස්තෝප්පුවේ මගේ සහෘදයා නවත්වලා යද්දී ඔලුවට පොඩි තට්ටුවක් දාලා යන්නේ. එය මචං කීමක් ද, ස්තූතියක් ද, මොකක්ද කියන්න මට තේරෙන්නේ නෑ. ඒත් ඒක හදපතුලෙන් එන පිරිසිදු පණගැහෙන හැඟීමක් බව මම දන්නවා.

අවසාන වශයෙන් මට මගේ පැරණි මතකය ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි.

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්,
මවෙතින් ලැබුන ආදරයත් ලැබේ නම්,
මතකය නුඹට හිරිහැර‍යක් නොවේ නම්,
තව කුමකටද දුක් ගී කල්පනාවන්....
~රොහාන් ශාන්ත~

මගේ සහෘදයාට කියන්න සිංහල සින්දුවක් මට මේ වෙලාවේ මතක් වෙන්නේ නෑ. ඒත් මේක තරමක හෝ ප්‍රණාමයක් වෙයි කියලා හිතෙනවා.
Life is a Highway
I wanna ride it, all night long
If you're going my way
I wanna drive it, all night long
~රස්කල් ෆ්ලැට්ස්~

ප්‍රතිභානු වසන්තතිලක
12.04.2017

Comments

Post a Comment